Sunday, June 30, 2013

25/25

මගේ 25 වෙනි උපන්දිනය ජූනි මස 25 වෙනිදා කවදාවත් දැනුනෙ නැති ආකාරයක ආලෝකයකින් ආදරය උතුරා යන ඉතාමත් සංවේදී දිනයක් විය. අනපේක්ෂිත ජීවිත චාරිකාවේ අහම්බයෙන් හමු වුන ඉතා සුන්දර සහෘදයන් පිරිසක් සමඟ ගත කල කාලය, ජීවිතයේ මා ලැබූ ඉතා සුන්දර කාල පරිච්ඡේදයකි. බොහොමයක් අවස්ථා වලදී, ජීවිතයේ සැමරීම් මග හැරීමට උත්සාහ ගන්නා මා, එය දුටුවේ ඉතා අනවශ්‍ය දෙයක් ලෙසය. තනිව හැදුනු මා ජීවිතයේ සෑම අවස්ථාවක්ම තනිව විඳ දරා ගැනීමට පුරුදු වී සිටියේය. මාගේ මෙම අවුරුදු 25 තුල ආපසු හැරී බැලූ විට සැමරීමට තරම් වූ වටිනා දේවල් නොවීය. මුල් කාලයේදී ඒ ගැන ඉතා කළකිරීමට පත් ව සිටියද, පසු කලෙක ජීවිතයේ යථාර්තය ටිකෙන් ටික අවබෝධ වීමත් සමඟ, සැම දෙයකම අවසානය "හිස් බව" යන්න තේරුම් ගතිමි. කොතරම් විශාලව සෑම දෙයක්ම ග්‍රහණය කර ගැනීමට උත්සාහ කලද, කොතරම් සුළු වශයෙන් සෑම දෙයක්ම ග්‍රහණය කර ගත්තද, අවසානයේ හිස් බව ඒකාන්තය. එම නිසා මගේ අතීතය පිළිබඳ වූ කළකිරුනු මානසිකත්වයෙන් මා නිදහස් විය. 
ජීවිතය බොහොම සරළව හා නිදහස්ව ගත කිරීමට උත්සාහ කල මා හට, අනපේක්ෂිතව මුනගැසුණු ඉතා සුන්දර මිනිසුන් පිරිසක් විසින් මෙතෙක් ජීවිතයේ මා නොලැබූ ආකාරයේ වටිනාකමක් මගේ ජීවිතයට එක් කලේය. එතරම් වටිනාකමක් ලැබීමට තරම් මා සුදුසු දැයි පවා විටෙක මට සිතෙයි. කෙසේ වෙතත්, මේ සියල්ල දෛවයේ කැමැත්තට අනුව සිදු වූ දෙයක් ලෙස මට හැඟේ. බොහෝ විට මෙම සැමරීම මාගේ ජීවිත්යේ දී මා දැනුවත්ව සහ මාගේ ඕනෑකමින් සැමරූ ප්‍රථම සහ අවසාන සැමරීම විය හැක. ඉදිරිය ගැන මම නොදනිමි. ඒ සියල්ල මම දෛවයට බාර කරමි. 
නොදැනුවත්වම මේ සියළු දෙයක්ම මාගේ ජීවිතයේ බැඳීම් වැඩි කරන බවක් මට හැඟේ. නමුත් එම බැඳීම් වලින් නිදහස් වීම දරාගත නොහැකි වේදනාකාරී දෙයකි. එහෙත් අවසානයේ අකමැත්තෙන් හෝ එම වේදනාකාරී අවස්ථාවට මුහුණ දීමට සිදුවන බව මම දනිමි. මට හැඟෙන ආකාරයට යථාර්තය සැම විටම නීරසය, නමුත් බොහෝ දෙනා එම නීරස බවින් මිදීමට නොයෙකුත් මායාවන් පසුපස හඹා යති. එහෙත් අවසානයේ මෙම නීරස යථාර්තය සැමටම උරුම බව ඔවුන් නොදනී. 
කෙසේ වෙතත්, මෙම සුන්දර මිනිසුන් සමඟ ගත කිරීමට ලැබුනු කෙටි කාලය මා හට ජීවිතය පවත්වාගෙන යාමට ලැබුනු බලාපොරොත්තුවක් වැනිය. මට ලබාදුන් ඒ සුන්දර මතකන් හා ඒ අගය කිරීම් වලට, ඔබ සියළුදෙනාටම බොහොම පිං.....!!! ජය වේවා...!!

2 comments:

දිනුක said...

ඔහොම යං ඔහොම යං....තාම විසිපහයිනේ බං..

රාජිත මුණසිංහ said...

බොහොම පිං මගේ මෙව්ව එක කියෙව්වට....!! ජය වේවා..!! :D

Post a Comment

 
;