Monday, March 21, 2016 0 අදහස්

20.03.2016



ජීවිතයේ විවිධ කාල වල විවිධ දේවල් අපට සිද්ද වෙනවා. ගොඩක් දේවල් අනපේක්ෂිතයි. සරළවම බැලුවොත් අපේ ජීවිතයෙ වැඩි හරියක්ම තියෙන්නෙ ඒම් සහ යාම්. සමහරු අපේ ජීවිත වලින් යන්නෙ කිසිම පෙර දැනුම් දීමකින් තොරව, තවත් සමහරු අපේ ජීවිත වලට එන්නෙත් එහෙමයි. ඒවගේම තමයි විවිධ කාල වලදී හමුවෙන පුද්ගලයින් අපේ ජීවිත වල ගොඩක් වෙනස්කම් සිදු කරනව. සමහර දේවල් සිද්ධ වෙන්නෙ ඇයි කියලවත් අපි හරියට දන්නෙ නෑ. ඒ අතරතුර අපි ගොඩක් ලොකු බලාපොරොත්තුත් එක්ක ජීවිතයේ ලොකු ගමනක් යන්න උත්සාහ කරනව.
මගේ ජීවිතයේ ආපසු හැරිල බැලුවොත් ඒ අතරින් මගේ මතකයේ රැඳුන සිදුවීම් ඉතාමත් සුළු ප්‍රමාණයක් තිබෙන්නෙ. සමහර සිදුවීම් කාලයත් සමගම ඉතා සියුම් ලෙස මටත් නොදැනිම මගේ මතකයෙන් ගිලිහිලා. සමහර සිදුවීම් ඕනකමින්ම මම අමතක කරලා. ඒත් ගොඩක් වෙලාවට අපි හමෝටම තියෙනව එහෙම ලේසියෙන් අමතක වෙන්නෙ නැති විශේෂ දේවල් අපේ ජීවිත වල.
බොහෝ විට හුදකලාව සහ පාඩුවේ ජීවත් වීමට කමති මා නෑදෑ හිත මිතුරන් අශ්‍රය කරන්නේද ඉතාමත් සීමිතව. ඒ නිසාම සමහරු මාව තේරුම් ගන්නේ ඔවුන්ගේ සමාජ ආශ්‍රයන්ට නොගැලපෙන පුද්ගලයෙක් විදිහට, සමහරු හිතන්නේ මම හරි ආඩම්බරකාරයෙක් එහෙමත් නැත්නම් උඩඟු පුද්ගලයෙක් විදිහට, තවත් සමහරු මගේ හැසිරීම් සහ ජීවන රටාව දැඩි ලෙස විවේචනය කරනවා. ඒත් ඔය අතරතුර මාව තේරුම් ගත්ත සැබෑ නෑදෑ හිත මිතුරන්ද නැතුවා නොවේ.
කාලයත් සමග අපේ ජීවිතත් දවසින් දවස වයසට යනවා. ඒ අතරතුර අත්දැකීම් වලිනුත් අපි මුහුකුරා යනවා. ජීවිතයට අවශ්‍ය මොනවාද අවශ්‍ය නැත්තේ මොනවාද, ජීවිතයේ ප්‍රමුකතාවයන් මොනවාද කියල අපි තේරුම් ගන්නවා. සමහර වෙලාවට අපේ ජීවිතවල ප්‍රමුකතාවයන් කාලයෙන් කාලයට වෙනස් වෙනවා.
හිතේ තියෙන ගොඩක් දේවල් වචන වලට පෙරල ගන්න හරි අමාරුයි. සමහර දේවල් වචන වලට පෙරලුවත් ඒහි නියම අරුත ඒක නොවෙන්න පුලුවන්. ඒ විදිහට මට මෙතෙක් කාලයක් තුල දැනුන දේවල් තමයි කලින් මම විස්තර කලේ. 
ඔය දේවල් අතරතුර අපි වටිනාකමක් දෙන සමහර පුද්ගලයින්ගෙන් අපිට ඒ වටිනාකම ලබෙන්නෙ නැති වෙලාවක ජීවිතයට අහම්බෙන් එකතු වුන පුද්ගලයින්ගෙන් අපිට ඉහල වටිනාකමක් ලැබෙන අවස්ථාද නැතුවා නොවේ. අදත් ඒ වගේ දවසක් කියල මට හිතෙනවා. කාලයකට ඉහත දී මගේ ජීවිතයට අහම්බෙන් එකතු වුන සුන්දර මිනිසුන් පිරිසක් විසින් මට ඒ වටිනාකම ලබා දුන්නා. වටිනාකම කියල මම අදහස් කරන්නෙ මිළ මුදල්, තෑගි බෝග වගේ භෞතික දේවල් නෙමෙයි. එතනින් එහාට ගිය බොහොම පරාර්තකාමී හැඟීමක්. සමහරවිට මගෙන් ඔවුන්ට ඒ වගේ වටිනාකමක් නොලැබුනත්, ඔවුන්ගෙන් මම ඒ වටිනාකම ලබන්න තරම් වාසනාවන්ත වුනා. මම තාමත් හිතන්නෙ, මම ඒ තරම් වටිනාකමක් ලැබිය යුතු පුද්ගලයෙක්ද කියල! ඒත් කලින් මම කිව්ව වගේ ජීවිතය කියන්නෙ, අනපේක්ශිත චාරිකාවක්. ඒ චාරිකාව අතරතුර අපට ඕනෑම දෙයක් සිදුවිය හැකියි කියල මම විශ්වාස කරනවා. මම හිතනවා, අද දවසත් ඒ වගේ සුවිශේෂී දවසක් වෙයි මට, කවද හරි ආපසු හැරිල බලපු දවසක. අනාගතය කියන්නෙ හරියට බොඳ වුන සිහිනයක් වගේ නමුත් වර්තමානය කියන්නෙ යථාර්තයක්. ඒ යථාර්තය තුල ජීවත් වීමට මම උත්සාහ කරනවා.
ඉතින් මගේ යථාර්තයට ඒ වගේ සුවිශේෂී බවක් එක් කලාට ඔයාලට ගොඩක් පිං! බොහොම ස්තුතියි නැවතත්!  ජය වේවා!
 
;